ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සංවර්ධන අංශය

අනතුරුදායක ගස් ඉවත් කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ගසකින්, ගසක අත්තකින්, කඳකින්, ගෙඩිවලින් හෝ වෙනත් කිසිවකින් යම් ගොඩනැගිල්ලකට අලාභ හානි සිදුවන හෝ සිදුවීමට ඉඩ ඇති අවස්ථාවක දී, හෝ ගොඩනැගිල්ලක පදිංචිකරුවන්ට හෝ යම් ප්‍රසිද්ධ මහා මාර්ගයක ගමන් කරන්නන්ගේ ආරක්ෂාවට අනතුරුදායක තත්ත්වයක පවතින අවස්ථාවක ප්‍රාදේශීය සභාවෙන් හෝ වෙබ් අඩවියෙන් භාගත කරගනු ලබන අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා පරීක්ෂණ ගාස්තුවක් අය කරනු ලබයි.

(ඉල්ලුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)

  • අනතුරුදායක කොස් ගස් එකක් සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ පැවත්වීමට ගාස්තුව - රු.1500.00
    (එක ඉඩමක පිහිටි එක් කොස් ගසක් සඳහා පරීක්ෂණ ගාස්තු වශයෙන් අය කෙරේ.)
  •  කොස් නොවන ඕනෑම වෙනත් අනතුරුදායක ගස් එකක් සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීමේ ගාස්තු - රු.500.00
    (එක ඉඩමක පිහිටි කොස් නොවන ඕනෑම එක් ගසක් සඳහා පරීක්ෂණ ගාස්තු වශයෙන් අය කෙරේ.)

එකී ගස හෝ ගස් ඉවත් කිරීම සඳහා ගස පිහිටි ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු වෙත ලිඛිත දැන්වීමකින් අනතුරුව නිෂ්චිතව සඳහන් කරන කාලසීමාව තුළ එම ගස හෝ ගස් බැඳ තැබීමට සහ අනතුරුදායක නොමැති ලෙස තැබීමට හෝ එම ගස, ගසේ අත්ත, කඳ හෝ ගෙඩි හෝ වෙනත් කොටසක් කපා ඉවත් කිරීමට ඉහත කී අයිතිකරු හෝ පදිංචිකරු වෙත නියම කරනු ලබයි.

දැන්වීමක් ලද සෑම තැනැත්තෙකුම දැන්වීමේ නිශ්චිතව සඳහන් කරන ලද කාලය තුළ දැන්වීමේ දක්වා ඇති නියමයන් ඉටු කළ යුතුය. එලෙස එකී කාර්යය ප්‍රතික්ෂේප කරනු ලබන හෝ අතපසු කර ඇති අවස්ථාවක දී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් බලය පවරනු ලබන නිලධරයෙක්, කම්කරුවෙක් මඟින් එම දැන්වීමේ සඳහන් ඉඩමට ඇතුළු වී නියම කරන ලද කාර්යය ඉටු කිරීමට හැකි ය. එසේම එම කටයුත්ත සඳහා වැය වූ මුදල් සභාවට අයවිය යුතු ණයක් ලෙස එම තැනැත්තාගෙන් අයකරගනු ලැබිය හැකිය.

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

නාගරික සංවර්ධන අධිකාරි පනත ක්‍රියාත්මක වන බල ප්‍රදේශවල ඒ අනුවත් අනිකුත් ප්‍රදේශවල නිවාස සහ නගර සංවර්ධන ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනත අනුවත් ඕනෑම ඉදිකිරීමක් සඳහා ප්‍රාදේශීය සභාවේ පූර්ව අනුමැතිය ලබාගෙන තිබිය යුතු ය.
ඉහත නෛතිකමය තත්ත්වය ලබා ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන මඟින් නිකුත් කරන නිර්ණායකයන් මත ගොඩනැගිලි සැලසුම් සකස් කර ගොඩනැගිලි සැලසුම් කමිටුවට ඉදිරිපත් කළ යුතුය. ගොඩනැගිලි සැලසුම අයදුම් කළයුතු ආකාරය පහත පරිදි වේ.
• ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් භූමි යෝග්‍යතා සහතිකය ලබා ගැනීම
(අයදුම්පත කාර්යාලයෙන් ලබා ගන්නේ නම් ගාස්තුව රු 50 කි. අයදුම්පත එම ආයතනයේ වෙබ් අඩවියෙන් භාගත කරගත හැක. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සමඟ ගොඩනැගිලි සැලසුමේ පිටපත් 02ක් ඉඩමේ ඔප්පුව, මිනින්දෝරු සැළැස්ම හා එහි පිටපත් 01 බැගින් රත්නපුර නව නගරය කාලගුණ දෙපාර්මේන්තුව අසල පිහිටි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට භාර දීමෙන් මෙම සහතිකය ලබා ගත හැකිය.)

නිසි පරිදි සම්පූර්ණ කරන ලද මෙම අයදුම්පත සමඟ පහත ලිපිලේඛන ප්‍රාදේශීය සභාව වෙත භාරදිය යුතුය
1.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ලබාගත් භූමි යෝග්‍යතා සහතිකය
2. ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරන ලද මිනින්දෝරු සැලැස්මේ පිටපත
3. අදාල ඉඩමේ ඔප්පුව සහ ජායා පිටපත (2020.01.01 දින හෝ ඊට පසු ලියා සහතික කර ඇති ඔප්පු මත නිවරදි වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවා ඇති බවට පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මගින් සහතික කරන ලද ඔප්පුවේ පිටපත)
4. කුඹුරු ඉඩමක් නම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශය
5. ගොඩනැගිලි සැළසුම පිටපත් 03ක් (ගොඩනැගිලි සැළසුම සුදුසුකම් ඇති සැලසුම් ශිල්පියෙකු විසින් 1:1000 ට නොඅඩුව අදින ලද සැලසුම් පිටපතෙහි ඔහුගේ මුද්‍රාව තබා අත්සන් තබා තිබිය යුතුය. උඩුමහලක් හෝ උඩුමහල් සහිත නේවාසික හෝ ‍වාණිජ ගොඩනැගිලි සැලැස්මක් නම් වරලත ඉන්ජිනේරුවරයෙකුගේ හෝ වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ අත්සන සමඟ මුද්‍රාව තබා සහතික කළ යුතුය.)
6. ගොඩනැගිලි සැලැස්මේ වර්ග මීටර් ප්‍රමාණය අනුව ගාස්තු අය කරනු ලබයි. (අදාල ගාස්තු ප්‍රාදේශීය සභාවේ වාර්ෂික බදු ගාස්තු පැනවීමේ ගැසට් පත්‍රයේ සහ නාගරික සංවර්ධන අධිකාරි පනතේ දක්වා ඇත.)
7. ගොඩනැගිලි සැලසුම් ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක් කිරීම. (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ කාර්මික නිලධාරී‍න්ගේ ස්ථාන පරීක්ෂණයෙන් අනතුරුව වෙත යොමු කරනු ලබයි.)
8. සැලසුම් කමිටුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම. (සෑම මසකම එක් කමිටුවක් හෝ දෙකක් ලැබෙන අයදුම්පත් ප්‍රමාණය අනුව පැවැත්වීමට තීරණය කෙරේ.)
• අනුමැතිය ලැබීමෙන් පසු අදාල ගොඩනැගිලි සැලසුම ඒ ආකාරයෙන්ම ඉදිකිරීම සිදු කළ යුතු ය.
• ගොඩනැගිල්ල ඉදිකිරීම වසරක කාලයක් තුළ නිම කළ යුතු අතර, එසේ නොමැති අවස්ථාවන්හිදී කාලය දීර්ඝ කර ගැනීමක් සිදුකළ යුතුය. (නාගරික බල ප්‍රදේශය තුළ වසර 03 ක් හා නාගරික බල ප්‍රදේශයෙන් පිටත නම් වසර 05 ක් තුළ ඉදිකිරීම් අවසන් කළ යුතුය.)
• පදිංචියට පෙර වැඩ අවසන් කරන ලද ඉදිකිරීමෙහි අදාල නිර්ණායකයන්ට අනුකූලව ඉදිකිරීම් කර ඇති බවට අනුකූලතා සහතිකය ලබා ගැනීම සිදු කළ යුතු ය.(සැලැස්ම අනුව ඉදිකිරීම් සිදු කළ බවට සුදුසුකම්ලත් පුද්ගලයාගේ හෝ අදාල ආයතන වල නිර්දේශය සමඟ ඉදිරිපත් කළ යුතුය. )

ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමේ වාසි
ගොඩනැගිලි සැලැස්මක් හෝ යම් භෞතික ඉදිකිරීමක දී නාගරික සංවර්ධන අධිකාරිය,ප්‍රාදේශීය සභාව සහ අනෙකුත් රාජ්‍ය ආයතන වල නිර්දේශ වලට යටත්ව නීත්‍යානුකූල අනුමැතිය ලබා දීම තුළින් අසල් වාසීන්ට හා ප්‍රදේශවාසීන්ට කරදරයක් නොවන අයුරින් ඉදිකිරීම සිදු කළ හැකිය.

ගොඩනැගිලි අයදුම්පත්‍රය ලබා ගැනීම
නාගරික බල ප්‍රදේශ සඳහා වන ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ අයදුම්පත්‍රය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2235/54 - 2021.07.08 දිනැති ගැසට් පත්‍රයෙන් (අති විශේෂ) බාගත කරගත හැක. (මෙම අයදුම්පත්‍රය කාර්යාලයෙන් ලබා ගන්නේ නම් ගාස්තුව රු.500කි.)

ග්‍රාමීය බල ප්‍රදේශය සඳහා වන ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ අයදුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක. (මෙම අයදුම්පත්‍රය කාර්යාලයෙන් ලබා ගන්නේ නම් ගාස්තුව රු.500කි.)

 

අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම

අනුමැතියකින් තොරව ඉදිකරන සියළුම ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් ලෙස සැලකේ. නාගරික සංවර්ධන අධිකාරී බල ප්‍රදේශය තුළ නාගරික සංවර්ධන අධිකාරී පනත අනුවත්, අනෙකුත් ප්‍රදේශ සඳහා ප්‍රාදේශීය සභා පනත හා නිවාස සහ නගර නිර්මාණ ආඥා පනත මඟින් පනවා ඇති නීති රීති හා රෙගුලාසි අනුව කටයුතු කරනු ලැබේ.
ඒ අනුව අනුමැතියකින් තොරව සිදුකර ඇති ඉදිකිරීම් අනවසර ඉදිකිරීමක් ලෙස සලකා ඉවත් කිරීම සඳහා නෛතිකමය පියවර අනුගමනය කිරීම හෝ සැලසුම් අනුමත කිරීමේ ඇති හැකියාව මත අනුමැතිය ලබා දීම පිළිබඳව සලකා බලන අතර, ඒ සඳහා දඩ මුදල් අය කරනු ලබයි.

පිඹුර (මිනින්දෝරු සැලැස්ම) අනුමත කිරීම
අවශ්‍ය ලිපි ලේඛන
• ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිකුත් කරන ලද භූමි යෝග්‍යතා සහතිකය
(අයදුම්පත්‍ර රු 50ක් ගෙවා කාර්යාලයෙන් හෝ මෙම වෙබ් අඩවිය මඟින් හෝ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිල වෙබි අඩවිය මඟින් ලබාගත හැකිය)
• පිඹුර(මිනින්දෝරු සැළැස්ම) අනුමත කිරීමේ අයදුම්පත්‍රය

(අයදුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)
• ඔප්පුවේ මුල් පිටපත සහ ඡායා පිටපත
(2020-01-01 දින හෝ ඊට පසු ලියා සහතික කර ඇති ඔප්පු මත නිවරදි වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවා ඇති බවට පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මගින් සහතික කරන ලද ඔප්පුවේ පිටපත)
• පිඹුරු (මිනින්දෝරු සැළැස්ම) මුල් පිටපත සහ ඡායා පියපත (අවුරුදු 10ක් තුළ සකස් කරන ලද)
• පිඹුරු කොටස් කීපයක් තිබේ නම් තමාට අදාල කොටස් සඳහා වෙනම පිඹුරුපතක් සකසා ගැනීම.
• ප්‍රධාන පිඹුරු සැලැස්ම (අනු බෙදීම්වලදී)
• මාස 03ක කාලය තුළ ලබා ගත් පත්ඉරු (අවසන් පත්ඉරුව ද ඇතුළත්ව)
• අදාල ඉඩම වරිපනම් බල සීමාව තුළ පිහිටා ඇත්නම් සියළුම වරිපනම් හිඟ රහිතව ගෙවා ඇති බවට රිසිට්පත
• බිම් කට්ටි කරන ලද ඉඩමකින් ලබා ගත් බිම් කොටසක් නම්, මුල් කට්ටි සැළසුම අනුමතව තිබිය යුතු අතර, එහි පිටපත
• නාගරික ප්‍රදේශය තුළ පිඹුරු සහතිකයක් නම් එය ප්‍රාදේශීය සභාවේ නාගරික සැලසුම් කමිටුවෙන් අනුමත විය යුතුය.

ගාස්තු අය කිරීම
• ග්‍රාමීය ප්‍රදේශ සඳහා රු 1000.00
• නාගරික ප්‍රදේශ සඳහා ඉඩමේ ව‍ර්ග ප්‍රමාණය අනුව ගාස්තු තීරණය කෙරේ.

අනුකූලතා සහතික නිකුත් කිරීම

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යම් ඉදිකිරීමක් සම්බන්ධයෙන් ලබාගත් පූර්ව අනුමැතියට අනුව ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස, ගොඩනැගිලි සඳහා එකී පූර්ව අනුමැතියට යටත්ව ඉදිකිරීම් සිදුකර ඇති බවට තහවුරු කිරීම උදෙසා අනුකූලතා සහතිකයක් නිකුත් කරයි.
ඒ සඳහා අදාළ අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

(අයදුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිර්දේශය හා කාර්මික නිලධාරී මහතකුගේ ස්ථානීය පරීක්ෂණයෙන් පසුව අදාල ඉල්ලීම සැළසුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සහතිකය ලබා ගත හැකි ය.

බිම් කට්ටි සැලසුම් අනුමත කිරීම (අනු බෙදුම් සහතික)

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශය තුළ සිදු කෙරෙන සියලු ඉඩම් සංවර්ධනය කිරීම් හා කොටස්වලට කැඩීම් පළමුව ප්‍රාදේශීය සභා‍වේ ලියාපදිංචි කළ යුතුය. මෙහි අරමුණ නාගරික හා ග්‍රාමිය ප්‍රදේශයන් හි ඉඩම් සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් නියාමනය කිරීමයි.
බිම් කට්ටි සැලසුම් අනුමත කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ පියවර,
ප්‍රාදේශීය සභා‍ බල ප්‍රදේශය තුළ පිහිටා ඇති, කොටස්වලට කැඩීමට හෝ සංවර්ධනය කිරීම සඳහා හිමිකරු සතුව නිරවුල් ලියාපදිංචි ඔප්පුවක් සහිත ඉඩමක් තිබිය යුතුය. එහි පිඹුරුපත ද ඉදිරිපත් කළ යුතු වේ.

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කට්ටි කිරීමට අදාළ ඉඩම සහ කට්ටි සැලැස්ම යෝග්‍ය බවට සහතිකය ලබාගත යුතුය. අයදුම්පත එම ආයතනයේ වෙබ් අඩවියෙන් භාගත කරගත හැක.

• නාගරික බල ප්‍රදේශයේ පිහිටි විශාල කට්ටි සැලසුමක දී නාගරික සංවර්ධන අධිකාරිය මගින් මූලික සැලසුම් නිරාකරණය කරගැනීමක් සිදු කළ යුතුවේ.

 නාගරික ප්‍රදේශයන්හි පමණක් ඉඩම් අනුබෙදුම් අයදුම් පත්‍රයක් (රු. 500) මුදල් ගෙවා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගැනීම හෝ වෙබ් අඩවියෙන් භාගත කර ගැනීම.*ග්‍රාමිය ප්‍රදේශයන්හි නම්, ඉල්ලීම් ලිපියක් සමඟ පහත පියවර අනුගමනය කළ හැකිය.

 එම සම්පූර්ණ කළ අයදුම් පත සමග අනුමත කිරීමට ඇති ඉඩමේ මුල් සැලැස්ම එහි ඡායා පිටපත් 2 ක්, අදාල ඔප්පුවේ පිටපතක් ප්‍රාදේශීය සභාවේ සංවර්ධන අංශය වෙත ලබා දී ඉඩමේ කැබලි ප්‍රමාණය අනුව ප්‍රාදේශීය සභාවේ නෛතිකමය තත්ත්වයන්ට ‍යටත්ව සැළැස්ම ඇද ඉදිරිපත් කළ යුතුය. සැළැස්මේ මුල් පිටපත සහ ඡායා පිටපත් දෙකක් ලබා දිය යුතු ය.

 ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර් 1 ක් හෝ ඊට වැඩි වේ නම් වීථි හා කාණු අත්හැරීමෙන් පසු ඉඩමෙන් 10% ක භූමි ප්‍රමාණයක් පොදු කටයුතු සඳහා වෙන්කළ යුතුය. වෙන්දේසි ඉඩමක් නම් ඉඩමේ තක්සේරු වටිනාකම අනුව 1% ක ගාස්තු ගෙවිය යුතු අතර, එකී ගාස්තු ගෙවා ඉහත ලිපිලේඛන සමඟ ආයතනය වෙත භාරදිය හැකිය.

 අනතුරුව, සභාවේ තාක්ෂණ නිලධාරියෙකු විසින් ඉඩම පරීක්ෂා කර ඉඩම සංවර්ධනය කිරීම සම්බන්ධව උපදෙස් ලබාදෙනු ලබයි. ඒ අනුව සංවර්ධන කටයුතු අවසන් වූ පසු සැලසුම් කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය සඳහා කටයුතු කරනු ලැබේ.

 ග්‍රාමීය ප්‍රදේශයන්හි කාර්මික නිලධාරී වාර්තා මත සැලසුම් කමිටු අනුමැතිය හිමි වේ. නාගරික ප්‍රදේශයන්හි මීළඟ සැළසුම් කමිටුවට යොමු කරනු අනුමැතිය ලැබේ.

 සැළසුම් කමිටුව මඟින් දෝෂ හෝ ගැටළු නොමැති බවට තහවුරු කර අනුමැතිය ලබා දෙන්නේ නම්, අනුමත මුද්‍රාව තැබීමෙන් පසුව අදාල අනුමත සැලැස්ම ලබාගත හැකි වේ.

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම

නෛතිකමය ප්‍රතිපාදන
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම 1988 අංක 56 සහ 2000 අංක 53 යන පනත්වලින් සංශෝධනය වූ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙහි ප්‍රතිපාදන යටතේ වන නීතිමය අවශ්‍යතාවයකි.

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ අරමුණු
ජාතික ප්‍රමිති හා උපමාන වලට අනුකූලව බාහිර පරිසරයට අපද්‍රව්‍ය සහ විමෝචනයන් මුදා හැරීම මඟින් සිදුවන පාරිසරික දූෂණය වැළැක්විම සහ පාලනය කිරීම.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර වර්ග සහ නිකුත් කරනු ලබන ආයතන
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත / නියමිත කටයුතු අංක 1533/16 සහ 2008.01.25 දිනැති ගැසට් පත්‍රය. මගින් ප්‍රකාශයට පත් කර ඇත. අදාල කර්මාන්ත / නියමිත කටයුතු ඒවායෙහි පරිසර දූෂණ ප්‍රභවය මත අ, ආ, ඇ සහ ඈ වශයෙන් ලේඛන හතරකට වර්ග කර ඇත.

මහා පරිමාණ දූෂ්‍යකාරක කර්මාන්ත/ නියමිත කටයුතු 33 ක් අ ලේඛනයෙහි අන්තර්ගත වන අතර මධ්‍ය පරිමාණ දූෂ්‍යකාරක කර්මාන්ත/ නියමිත කටයුතු 71 ක් ආ ලේඛනයෙහි සහ කර්මාන්ත/ නියමිත කටයුතු 56 ක් ඇ ලේඛනයෙහි අන්තර්ගත වේ. අ, ආ සහ ඇ ලේඛනවල සඳහන් කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර මධ්‍යම පරිසර අධිකාරියෙහි අදාල ප්‍රාදේශීය කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාලයෙන් ලබා ගත යුතු වේ.

සුළු පරිමාණ දූෂ්‍යකාරක කර්මාන්ත/ නියමිත කටයුතු 38 ඈ ලේඛනයෙහි අන්තර්ගත වන අතර, ප්‍රාදේශීය සභාව මගින් එම කර්මාන්ත/ නියමිත කටයුතු සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සහ පසු විපරම් කටයුතු, නීතිමය කටයුතු, පැමිණිලි සම්බන්ධ කටයුතු ආදිය සම්බන්ධයෙන් ද ක්‍රියාකරනු ලැබේ.

ප්‍රාදේශීය සභාව මඟින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කරනු ලබන කර්මාන්ත/ ක්‍රියාවලි වන්නේ,
1. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත
2. සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින බතික් කර්මාන්ත
3. සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන (ලොන්ඩ්‍රි)
4. රෙදි වියන යන්ත්‍ර මැෂින් 10 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බොයිඩර් කිරීමේ කර්මාන්ත
5. දිනකට ලීටර් 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල්තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත
6. පොල්තෙල් සහ ආයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත
7. දිනකට ලීටර් 100 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මධ්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ හෝ බෝතල් ගත කිරීමේ කර්මාන්ත
8. දිනකට කිලෝග්‍රෑම් 500 ක් හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් සහිත වී මෝල්
9. මසකට කිලෝග්‍රෑම් 1000 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්
10. සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 25 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියළීමේ කර්මාන්ත හෝ දුම් වැටි හෝ දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත
11. එක් තොගයකට කිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම් සහිත කුරුදු දුම් ගැසීමේ කර්මාන්ත
12. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත
13. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණිජමය තේ මිශ්‍ර කිරීමේ/ මුහුවම් කිරීමේ කර්මාන්ත
14. සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිෂ්පාදන කිරීමේ හෝ සකස් කිරීමේ කර්මාන්ත
15. දිනකට පිටි කිලෝග්‍රෑම් 250 ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරි සහ රස කැවිලි නිෂ්පාදන කර්මාන්ත
16. ඕනෑම අවස්ථාවක වැඩුණු පක්ෂීන් 100 හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂි ගොවිපලවල්
17. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 5 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛ්‍යාවක් ඌරු සහ ගව ගොවිපලවල්
18. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් එළු ගොවිපලවල්
19. වැඩුණු සතුන් මුළු එකතුව 100 ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්
20. ගබඩා ධාරිතාවය ඝණ මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ එළවළු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන
21. කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත
22. යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
23. දිනකට නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20 ට අඩු ප්‍රමාණයක් සහිත හුණු පෝරණු
24. සේවක සංඛ්‍යාව 5 කට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ප්ලාස්ටර් ඔෆ් පැරිස් අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නා ඕනෑම කර්මාන්තයක්
25. බෙලිකටු කැබලි කිරීමේ/ පතුරු කිරීමේ කර්මාන්ත
26. උළු සහ ගඩොල් පෝරණු
27. වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිතව වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත
28. කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත
29. පුපුරණ ද්‍රව්‍ය භාවිත කර එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණීම් කටයුතු
30. දිනකට ගණ මීටර් 25 ට අඩු ඉරුම් ධාරිතාවයක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි 10 කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්‍රිත කර්මාන්ත
31. දැව පදම් කිරීම සදහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිත කරන කර්මාන්ත
32. බහු කාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිත කරන වඩු කර්මාන්ත
33. සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හෝටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා
34. පදිංචි සංඛ්‍යාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගල ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්
35. විසිරි පින්තාරු කිරිම් හෝ වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරීම්, නඩත්තු කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදු කරන ගරාජ
36. වාහන සේවා සිදු නොකරන බහාලුම් (කන්ටේනර්) පර්යන්ත
37. ඊයම් උණු කිරීම ඇතුළත් නොවන මුද්‍රණාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර
38. මෘත ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා
39. මෙම උපලේඛනයේ ඈ කොටසේ ඇතුළත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 ක් ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක්/ කර්මාන්තයක්

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් අයදුම් කිරීමේ ක්‍රමවේදය

අදාල අයදුම්පත්‍රය කාර්යාලයෙන් ලබා ගැනීම.
• නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සමඟ පහත ලියවිලිවල පිටපත බැගින් ඉදිරිපත් කළ යුතුය.

- ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය
- අදාල ඉඩමේ ඔප්පුව/බදු ගිවිසුම
- අදාල ඉඩමෙහි මිනින්දෝරු සැළැස්ම
- ප්‍රාදේශීය සභාව මඟින් ලබාගත් වෙළඳ බලපත්‍රය
- සුවිශේෂී නිෂ්පාදන/කර්මාන්ත සඳහා අදාල වන සහතිකය (උදා:- කලුගල් කැනීම භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ අනුමැතිය)
- පරිසර දූෂණය අවම කිරීම සඳහා වන යෝජනාවලිය
- පරිසර අධිකාරිය හෝ ප්‍රාදේශීය සභාව විසින් ඉල්ලා සිටිනු ලබන වෙනත් ලේඛන හෝ විස්තර
• සපයා ඇති තොරතුරු අනුව පරීක්ෂණ ගාස්තු තීරණය කරනු ලබන අතර, ඊට අදාල ගාස්තු ප්‍රාදේශීය සභාව මඟින් දැනුම් දෙනු ඇත. (කර්මාන්තයේ ආයෝජන මුදලය සාපේක්ෂව පරීක්ෂණ ගාස්තු තීරණය කෙරේ. එකී මුදල රු 3,000/= සිට උපරිමය රු 10,000/= යටත් වේ)
• ක්ෂේත්‍ර පරීක්ෂාව සහ පරීක්ෂණ වාර්තාව පරිසර ආරක්ෂණ තාක්ෂණ කමිටුව වෙත යොමු කර නිර්දේශ සහ අනුමැතිය ලබා දෙනු ලබයි.
• අදාල අනුමැතිය ලැබීමෙන් අනතුරුව පරිසර බලපත්‍රය සඳහා ගාස්තු අය කෙරේ. (ගාස්තු ප්‍රමාණය රු. 4,500/=කි)
• ප්‍රාදේශීය සභාව මඟින් නිකුත් කරනු ලබන පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වර්ෂ 03ක කාලයක් සඳහා වලංගු වේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම
• මින් පෙර ලබාගත් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අලුත් කිරීම සඳහා කල් ඉකුත් වීමට මාස 03කට පෙර ප්‍රාදේශීය සභාව වෙත භාරදිය යුතුය.
• කර්මාන්තයට අදාල පාරිසරික නියමයන් නිසි පරිදි සිදුවන්නේද, මහජන පීඩා සිදුවන්නේද යන කරුණු පිළිබඳව ප්‍රාදේශීය සභාව නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක් කරනු ලබයි.
• එසේ නොවන අවස්ථාවන්හිදී අදාල පරිසර බලපත්‍රය අත්හිටුවීමට හෝ නෛතිකමය පියවර ගැනීමට කටයුතු කෙරේ.

වීථි රේඛා සහතික නිකුත් කිරීම

ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් වීථිරේඛා නොපවරාගැනීමේ සහතික නිකුත් කිරීමේ දී පළමුවෙන්ම අයදුම්කරු විසින් ඉල්ලුම්පත්‍රයක් පිරවිය යුතුය. (ඉල්ලුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.) එම ඉල්ලුම් පත්‍රයේ සඳහන් ආකාරයට අයදුම්කරු අයිතිකරු නොවේ නම් විරුද්ධත්වයක් නොමැති බව දන්වන අයිතිකරුගේ අත්සනින් යුත් ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

සහතික ඉල්ලා සිටින ඉඩම පිළිබඳව මුල් පිටපත් හා ඡායා පිටපත් එක බැගින් ඉදිරිපත් කළ යුතුය. (ඉදිරිපත් කරන ඡායා පිටපත් ඉතා පැහැදිලි විය යුතුය. පිඹුරු සැලැස්මේ අංක ඔප්පුවේ අංක හා දින ගැලපේද බලා සහතිකය නිකුත් කරනු ලැබේ. ඉන් පසුව මුල් පිටපත් ආපසු භාර දෙනු ලැබේ.) ඉල්ලුම්පත භාර ගැනීමේ දී රු. 1500.00ක මුදලක් අය කරනු ලැබේ.

වීථි රේඛා නොපවරාගැනීමේ සහතික නිකුත් කිරීමේ දී ඉඩම අයිතිකරුගේ නම, ලිපිනය, ඉඩමේ නම, ඉඩම පිහිටි වසම, ඉඩමට පිවිසෙන මාර්ගයේ පළල, ඉඩමේ ප්‍රධාන පාරට පිවිසුමක් ඇත්ද නැද්ද යන වග, ඉඩමට ආසන්නව පිහිටි මාර්ගය ප්‍රාදේශීය සභා/ පළාත් සභා/ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ද යන්න සඳහන් කළ යුතුය. මාර්ගයට ඉඩමේ සිට ඇති දුර හා එම මාර්ගයේ පළල, ඉඩමේ අයිතිකරු හා ඉල්ලුම්කරු අතර සම්බන්ධතාවය, ඉඩමේ මායිම් (උතුරට, දකුණට, නැගෙනහිරට හා බටහිරට) ලියාපදිංචි ඔප්පු අංකය හා දිනය, නොතාරිස්තැනගේ නම, ඔප්පු අංක හා අත්සන් දිනය, ලියාපදිංචි දිනය, මිනින්දෝරු තැනගේ නම, ඔප්පු අංක හා අත්සන් දිනය, ඉඩම ඉල්ලුම්කරුගේ නොවේ නම් අයිතිකරුගේ කැමැත්ත ලබාගෙන තිබේද යන වග, ඉඩම වරිපනම් බල ප්‍රදේශයක පිහිටා ඇතිද නැතිද යනවග,  වරිපනම් සීමාවේ නම හා වරිපනම් අංකය අවසන් වරට වරිපනම් බදු ගෙවන ලද දිනය හා ලදුපත් අංකය, අක්කර 21/2ට වැඩි ඉඩමක් නම් අක්කර බදු ගෙවිය යුතුය.

(2020 වර්ෂයෙන් පසු ඔප්පු ලිවීමේ දී ගෙවනු ලබන මුද්දර ගාස්තු වටිනාකම වෙනුවෙන් කුවිතාන්සියක් තිබිය යුතු බවත් ඒ සඳහා පළාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ගෙවූ බවට දින මුද්‍රාවක් තබා තිබිය යුතු බවත් චක්‍රලේඛ වලට අනුව සඳහන්ව ඇත.)

ඉහත සඳහන් තොරතුරු හඳුනාගෙන අයදුම්කරු විසින් නිවැරදිව ඉල්ලුම්පත්‍රය පිරවිය යුතුය. ඉදිරිපත් කර ඇති සත්‍ය තොරතුරු ඔප්පුවේ හා පිඹුරේ සඳහන්ව ඇත්නම් නොපවරාගැනීමේ වීථිරේඛා සහතිකය නිකුත් කරනු ලැබේ.

වීදි පහන්

නගරාශ්‍රිත ප්‍රදේශයන්ට මූලිකත්වය ලබාදෙමින් මාර්ග සහ පොදු ස්ථාන ආලෝකකරණය මෙමගින් සිදු කෙරේ. නව වීථි පහන් ස්ථාපනය සහ අලුත්වැඩියාව සිදුකරන අතරම ලිඛිතව අයදුම්පත් මාර්ගයෙන් පැමිණිලි භාරගනු ලැබේ.

අයදුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.


වීථි පහන් පැමිණිලි සම්බන්ධයෙන් සේවා සැපයීමේ පියවර

StreetLampMethod