ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය

ඓතිහාසික පසුබිම
History1ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ ඓතිහාසික පසුබිම පිළිබඳ විමසා බැලීමේ දී නොයෙකුත් ජනප්‍රවාද රාශියකින් යුක්තවේ. එහි ඉතිහාසය සීතාවක රාජසිංහ සමයේ රජ කල 11 වන රාජසිංහ රජ සමය දක්වා දිවයයි. පළමු රාජසිංහ රජු නිතර වෙස් වලාගෙන සාමාන්‍ය මිනිසෙකු ලෙස රටපුරා ඇවිද රටවැසියන්ගේ දුක සැප සොයා බලා පිළියම් යෙදූ අභීත වීර පුරුෂයෙකු ලෙස ප්‍රචලිතය. මෙසේ එක් දිනක් රට වැසියන්ගේ දුක සැප විචාරමින් වීදි සංචාරය කරන විට රෑ බෝ වූ බැවින් රාත්‍රී කාලය ගත කිරීමට සුදුසු ස්ථානයක් සොයා ගෙන යන අවස්ථාවේ දී ඇහැල මලී නමින් හැඳින්වූ රූමත් කාන්තාවකගේ නිවසේ රාත්‍රිය ගත කර ඇත. රජතුමාට ඉහලින් ගරු සත්කාර කල මේ කාන්තාව කෙරෙහි පැහැදුන රජතුමා මේ ප්‍රදේශය ඇහැලිගේ ගොඩැල්ල ලෙස හැඳින්වූ බවත් එම ඇහැලිගේ ගොඩැල්ල, පසුකළ ඇහැලියගොඩ වූ බව පැරැන්නන්ගේ මතයයි.
ඇහැලියගොඩ යන නම නිර්මාණය වූ තවත් එක් මතයක් නම් අතීතයේ මේ ප්‍රදේශයේ ඇහැලමලී නමින් හැඳින්වූ කාන්තාවක්, ජීවනෝපාය ලෙසින් රෙදි සේදීම තම වෘත්තිය කොට ගෙන ජීවත් ව ඇත. දුර ගමන් යන්නන් විඩාව සංසිදුවා ගැනීම සඳහා මෙම ස්ථානය නවාතැනක් ලෙස භාවිතා කොට ඇත. ඇහැලිගේ ගොඩැල්ල ලෙස හැඳින් වූ මෙම ස්ථානය පසු කලෙක ඇහැලියගොඩ වූ බව ජනප්‍රවාදයේ කියවේ.

භූවිෂමතාව
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කදු හෙල් හා උස් බෑවුම්වලින් යුක්ත වේ. මෙම බල ප්‍රදේශයේ බටහිර දිගින් පිහිටි කරඳන, කලටුවාව, වෑවිල යන ප්‍රදේශ කදු සහිත ය. උස මුහුදු මට්ටමේ සිට අඩි 800-1200 ක් අතර වේ.

 දේශගුණය
සාමාන්‍යයෙන් තෙත් කලාපීය දේශගුණයකින් යුත් මෙම ප්‍රදේශයට මැයි, අගෝස්තු කාලයේ නිරිත දිග මෝසම් සුළං මගින් හා නොවැම්බර්, පෙබරවාරි කාලය තුළ ඊසාන දිග මෝසම් සුළං මගින් වර්ෂාපතනය ලැබේ. මෙම බල ප්‍රදේශයේ ප්‍රධාන ජල මාර්ග ලෙස එල්ලාවල ගඟ, ගැටහැත්ත ඔය දැක්විය හැකි ය. මුළු මහත් ලංකාවාසීන්ටම මහගු සම්පතක් වන කලටුවාව ජලාශය මෙහි පිහිටා ඇත. වර්තමානයේ ඇතැමෙකුගේ නොමනා ක්‍රියාකාරකම් නිසා පරිසර හානිය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුකොට ගෙන මෙම උල්පත් ජලය නියං කාලයේ දී ඉතා අඩු මට්ටමක පවතී.

පස් වර්ග
ශ්‍රි ලංකාවේ පස් වර්ගීකරණය අනුව මෙම බල ප්‍රදේශයේ රත් කහ පොඩ්සොලික් නම් පස් වර්ග බහුල වශයෙන් ඇති බව තහවුරු වී ඇත. මේ හැර රන් පස්, දුබුරු පස්, බොරළු පස්, දියළු පස් ද මද වශයෙන් දැකිය හැකි ය.

භූමි පරිහරණය හා ඉඩම් භුක්තිය
මෙහි වැඩි වශයෙන් කෘෂි කර්මාන්තය මෙන්ම රබර් වගාව ද දැකිය හැකි අතර තේ හා පොල් වගාව ද ඒ අතර වේ. වී ගොවිතැන වැඩි වශයෙන් කෙරෙන්නේ අඳ ගොවි ක්‍රමයට වන අතර තට්ටු මාරු ක්‍රමයට තමන්ගේ කුඔුරු වගා කරන්නෝ ද වෙති. එසේම ප්‍රදේශවාසීන්ගෙන් වැඩි කොටසක් පරම්පරා ඉඩම් භුක්තියට හිමිකම් කියන අතර රජය මගින් ලබා දුන් ඉඩම්වල ද පදිංචි වී සිටිති.

බල ප්‍රදේශයේ සාමාන්‍ය තොරතුරු
පළාත - සබරගමුව
පරිපාලන දිස්ත්‍රික්කය - රත්නපුර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය - ඇහැලියගොඩ
මැතිවරණ කොට්ඨාශය - ඇහැලියගොඩ
ග්‍රාම නිලධාරි වසම් ගණන - 44
බල ප්‍රදේශයේ විශාලත්වය - ව.කි.මී.139
නාගරික බල ප්‍රදේශය - ව.කි.මී.16.69
ජනගහනය - 80452
ප්‍රදේශයේ නිවාස - 3889
ප්‍රදේශයේ රාජ්‍ය ආයතන - 28
ප්‍රදේශයේ ඉඩම් - 935
ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථාන - 1412
ප්‍රදේශයේ ආගමික ස්ථාන - 25